සෙලෙන්දිවා සමාගමට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට කල්දෙයි

ජන 21, 2022

    අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

    මෙම පෙත්සම අද zoom තාක්ෂණය ඔස්සේ එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති තුනක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නැවත අප්‍රේල් මස 07 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

    වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

    පෙත්සම්කරු පවසන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මෙවැනි සමාගමක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

    ඒ අනුව සෙලෙන්දිවා සමාගම ස්ථාපිත කර ඇති ආකාරය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම සමාගමේ ක්‍රියාකාරීත්වය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News