ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඇ.ඩො.මි. 500 ක්

ජන 18, 2022

    ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් පිරිනමා තිබෙනවා.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම තීරණාත්මක සහය ලබාදෙන බව, සඳහන් කර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර, ඉකුත් 15 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

    එහිදී දෙරට අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයට අදාල විවිධ අංශ ගැන සාකච්ඡා කෙරුණු බවයි, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. මෙම ණය පහසුකම කඩිනමින් ක්‍රියාවට නැංවීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දෙසැම්බර් මාසයේ සිදුකරන ලද ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක්. ඉන්දියාව මෑතකදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 900 කට අධික විදේශ විනිමය සහය ලබාදී තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්වීපාර්ශ්වික ආර්ථික හා වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබාදීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිබිඹු කරන බවයි, මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 18:54

    Latest News