ජනපතිගෙන් සහ අගමැතිගෙන් තෛපොංගල් දින සුභාශිංසන

ජන 14, 2022

    සශ්‍රීක කෘෂි කර්මාන්තය රැකදුන් සූර්ය දෙවියන්ට කෘතවේදීත්වය පළ කරන තෛපොංගල් උළෙල හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි.

    ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් සමග ඒ වෙනුවෙන් කැප වී සිටින අපගේ සහෝදර ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෛපොංගල් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

    තෛපොංගල් උළෙල සාම්ප්‍රදායික හා සාර්ථක ලෙස පැවැත්වීමෙන් අනාගතයේ සරුසාර අස්වැන්නක් සඳහා සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙන බව හින්දු ජනතාවගේ විශ්වාසයයි.

    සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් විසින් පවත්වන චාරිත්‍ර ශ්‍රී ලාංකික ජන සමාජයට අනාදිමත් කාලයක සිට ඉතා සමීපය. කෘෂි ආර්ථිකය මත පදනම් වූ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික ජනයා තෛපොංගල් උළෙල දෙස බලා සිටින්නේ අප්‍රමාණ ගෞරවයෙනි.

    සොබාදහමට අනුකූල ජීවන රටාවත් සමග සශ්‍රීකත්වය කරා අප පියවර තැබිය යුත්තේ හරිත කෘෂි කර්මාන්තය මත පදනම්වය. එබැවින් හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවයි.

    ඒ සඳහා මෙම තෛපොංගල් සමය දැඩි උද්‍යෝගයක් සපයන බව මම තරයේ විශ්වාස කරමි. මෙම වසරේදීත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව බවත්, ඔබේ ආදරණීයයනුත් ආරක්ෂා වන පරිදි තෛපොංගල් සැමරීමට ඔබ සියලු දෙනා අවස්ථාව සලසා ගත යුතුවේ. "

     

    අගමැතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය

    සමස්ත දමිළ ජනතාව බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය කෘතගුණ සැලකීම මුල්කරගත් උතුම් මංගල්‍යයකි.අස්වනු නෙලීම දක්වා හිරු දෙවියන් ඇතුළු ස්වභාවධර්මයෙන් කෘෂිකර්මාන්තයට ලැබුණු ශක්තිය සහ උපකාරයන් සිහිපත් කිරීම මෙම උතුම් මංගල්‍යයේ විශේෂත්වයක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දින සුභාශිංසන පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

    "හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය සහ උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙසින් සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපායි.

    විවිධ භාෂාවන් කතා කරන විවිධ ආගම් හා ජාතීන්ට අයත් ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාව සංස්කෘතික බැඳීම්වලින් පොහොසත් රටකි.ඒ නිසාම මෙවැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළඟා කර ගනිමින් එක මවකගෙ දරුවන් මෙන් අප සියලු දෙනා පෙරට ආ යුතුය.
    දුෂ්කරතා හමුවේ වුවද එන්නත්කරණ වැඩසටහන විධිමත්ව පවත්වා ගැනීම හේතුවෙන් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම ඉටු කිරීමට රජයක් ලෙස අපට හැකිවිය.

    වසංගත තත්ත්වය හමුවේ තවදුරටත් ඔබගේ සංස්කෘතික බැඳීම් සීමා නොවන්නට එය හේතු වූවා මෙන්ම අනාගතයට අප පියමන් කළ යුතුව ඇත්තේ අභියෝගවලට මුහුණදීමේ අධිෂ්ඨානය පෙරදැරිවය.
    සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී ද තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.
    කෘතගුණ සලකන සමාජයක් තුළ ඔබගේ නැවුම් බලාපොරොත්තු සඵල වනු ඇත.

    සියලු දමිළ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි."

     

    Latest News