පාස්කු නඩුවේ පොලිස්පතිවරයා සාක්ෂි දෙයි

නොවැ 29, 2021

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද 06 වන දිනටත් කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

    නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

    එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පොලිස්පති චන්දන වික්‍රමරත්න තමා 1986 වසරේ සිට සහකාර පොලිස් අධිකාරී වරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව වසර නවයක් රාජකාරි කළ බව සඳහන් කළා.

    මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරිය කෙබඳු දැයි විමසා සිටියා.

    පොලිස්පතිවරයා කියන්නේ රාජ්‍ය ආරක්ෂාව හා සම්බන්ධ ප්‍රබල චරිතයක්. ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක්. ආරක්ෂක කවුන්සිලයේ සිටින සාමාජිකයින් සියලු දෙනා හා සමාන බලතල පොලිස්පතිවරයාට තිබෙනවා. විධායකය විසින් ගනු ලබන තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවයි. රාජ්‍ය ආරක්ෂාව හා දේශපාලනය සම්බන්ධ තොරතුරු පිළිබඳව රාජ්‍ය නායකයා දැනුවත් කිරීමේ වගකීමත් පොලිස්පති වරයා වෙත පැවරී තිබෙනවා" යනුවෙන් සඳහන් කළ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා "පොලිස්පති වරයා" යනු හුදෙක් වැටුප් ලබන තවත් රජයේ නිලධාරියකු නොවන බවත් අවධාරණය කළා.

    පොලිස්පතිවරයාට ජාතික ආරක්ෂාව, අපරාධ පරිපාලනය හා සෙසු පරිපාලන කටයුතු පිලිබද වද නිසි දැනුමක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

    පොලිස්පතිවරයා වෙත යම් "බුද්ධි තොරතුරක්" ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ගත යුතු ක්‍රියාමාර්ග කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

    ඊට පිළිතුරු දුන් පොලිස්පති වරයා "එවැනි තොරතුරක් ලැබුණු විට එය වැඩි දියුණු කරගෙන අදාල අංශ වෙත යොමු කොට එය භූමියේ ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ වගකීමයි" යනුවෙන් සඳහන් කළා.

    රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන බුද්ධි තොරතුරු පිළිබඳව ඔබ දරන ආකල්පය කුමක්දැයි? නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා පොලිස්පතිවරයා වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවා.

    ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු " රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදෙන තොරතුරු අර්ධ සත්‍ය හෝ නිවැරදි නොවන ඒවා ලෙස අප සලකන්නේ නැහැ. එම තොරතුරු සත්‍ය ඒවා ලෙස පූර්ව නිගමනයක සිටිමින් තමා අපි කටයුතු කරන්නේ. යම් තොරතුරක් සියයට සියයක් සම්පූර්ණ වීම අවශ්‍ය නෑ. එහි ගැබ් ව තිබෙන
    කාරණයේ බර සැලකිල්ලට ගෙන කටයුතු කරන්න පොලිස්පතිවරයාට සිදුවෙනවා" යනුවෙන් පිළිතුරු දුන්නා.

    ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරක් ලැබුනහොත් පොලිස්පතිවරයා වශයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්දැයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

    ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා" එවැනි තොරතුරක් ලද විට ඒ හා සම්බන්ධව දෙපාර්තමේන්තුවේ සිටින විශේෂඥ දැනුමක් සහිත ඉහළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කළ යුතුයි. පසුව එම තොරතුර බුද්ධි තොරතුරක් වශයෙන් වර්ධනය කර ගත යුතුයි. ඉන්පසුව එය ඔහු භූමියේ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා වගබලා ගත යුතුයි. එය තමා පොලිස්පතිවරයෙකුගේ වගකීම". යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

    එහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රශ්නයක් යොමු කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෙත ලැබෙන බුද්ධි තොරතුරු ඔහුට වෙනත් බුද්ධි සේවාවන් වෙත සන්නිවේදනය කිරීමට හැකියාවක් තිබෙනවාදැයි ප්‍රශ්න කලා.

    ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා "ස්වාමීනි... රාජකාරිමය වශයෙන් ඔහුට එවැනි වගකීමක් නැහැ. අවශ්‍ය නම් ඔහුට වෙනත් බුද්ධි අංශ වලට එම තොරතුරු සන්නිවේදනය කරන්න පුළුවන්." යනුවෙන් ප්‍රකාශ කළා.

    සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා තවත් ප්‍රශ්නයක් යොමු කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබෙන බුද්ධි තොරතුරක් බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කර සාකච්ඡාවට ගන්න පුළුවන්ද? යනුවෙන් විමසුවා.

    ඊට පිළිතුරු දුන් පොලිස්පති වරයා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබෙන බුද්ධි තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමට ඔහු විසින් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට හැකියාව පවතින බව සදහන් කළා.

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව වැඩ බලන පොලිස්පති වරයා වශයෙන් තමා 2009 වසරේ මැයි මස 06 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත තමා විසින් තොරතුරු අඩංගු පැමිණිල්ලක් යොමු කළ බවත් ඔහු අධිකරණය මේ පිළිගත්තා.

    ඉන් අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝෂාන් දෙහිවල මහතා විසින් පොලිස්පතිවරයා වෙත හරස් ප්‍රශ්නයක් යොමු කරමින් පොලිස්පති වරයකු විසින් යම් ලිපියක් අවශ්‍ය කටයුතු කිරීම සඳහා පහළ නිලධාරීන් වෙත යොමු කළ විට ඒ අනුව කටයුතු කිරීමට එම නිලධාරීන් බැඳී සිටිනවා නොවේ දැයි විමසුවා.

    ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා එවැනි උපදෙස් අඩංගු ලිපියක් යොමු කළ විට එය ක්‍රියාත්මක කිරීමට පහල සිටින නිලධාරීන් කටයුතු කළ යුතු බව පිළිගත්තා.

    පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා වෙත යම් ලිපියක් යොමු කළොත් ඒ අනුව කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබෙන බවත් පොලිස්පතිවරයා අධිකරණය හමුවේ පිළිගත්තා.

    මේ අතර අද පෙරවරුවේ විත්තියේ නීතිඥවරයා විසින් මතුකල හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ජාතික තව්හිත් ජමත් සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මස 4 වන දා තමන්ට ලැබුණු තොරතුර එම වසරේ අප්‍රේල් 20 වනදා ප.ව.4.15 තෙක් "බුද්ධි තොරතුරක්" වශයෙන් තහවුරු වී නොතිබූ බව පිළිගත්තා.

    එම තොරතුර ජනාධිපතිවරයා වෙත සන්නිවේදනය කිරීමට තමා උත්සාහ කලත් ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකාර ජයවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

    එහෙත් මෙම බුද්ධි තොරතුරු තමා විසින් අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, විපක්ෂනායකවරයා යනාදී කිසිවෙකුටත් දැනුම් නුදුන් බවත් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා පිළිගත්තා.

    අප්‍රේල් මස 4 වනදා තමන්ට ලැබුණු තොරතුර "බුද්ධි තොරතුරක්" වශයෙන් අප්‍රේල් මස 21 වනදා තෙක් තමා පොලිස්පතිවරයා වෙත ලබාදී නොතිබූ බව අධිකරණය හමුවේ පිළිගත් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා එහෙත් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු තමන් විසින් වරින් වර පොලිස්පතිවරයා වෙත සන්නිවේදනය කර තිබූ බවත් වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළා.

    වැඩිදුර විමසීම ලබන ජනවාරි මස 18 වනදා තෙක් කල් තැබුණා.

    Latest News