දි.මු. ජයරත්න ගුණ සැමරුමට ජනපති එක්වෙයි (වීඩියෝ)

නොවැ 20, 2021
  • දිවංගත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දෙවන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ දී පැවැත්විණ.  

    ගුණ සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිතුමා අම්බුළුවාව බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින්, ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹීය. අනතුරුව දි.මු. ජයරත්න සමාධිය නිරාවරණය කර, ඊට පුෂ්පෝපහාර දැක්වීය.  ගම් සභාවෙන් දේශපාලනය ඇරඹූ දි.මු. ජයරත්න මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ” 13වන සාමාජිකයා ය. 1970 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා 1994 වර්ෂයේදී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් විය.

    HE 900px 21 11 20

    2010 වර්ෂය දක්වා විවිධ අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ දි.මු ජයරත්න මහතා 2010 සිට 2015 දක්වා මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා 2019 නොවැම්බර් මස 19 වන දින සිය දිවියෙන් සමුගත්තේය.  රාජ්‍ය අමාත්‍ය, අනුරාධ ජයරත්න මහතා විසින් ගුණ සැමරුම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබිණ.  අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ සුදු හඳුන් පැළයක් ජනාධිපතිතුමා අතින් රෝපණය කළේය.  

    HE2 900px 21 11 20

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන චලනි වාසලබණ්ඩාර දියණිය විසින් රචිත “මනුෂ්‍යත්වයේ මෙහෙයුම” කෘතිය ජනාධිපතිතුමාට පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණ.  ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 18:10

    Latest News