"සඳහිරු සෑය" අද සසුනට පූජා කෙරේ...

නොවැ 18, 2021

    අනුරාධපුර පූජාභූමියේ ඉදිකළ "සඳහිරු සෑය" සම්බුදු සසුනට අද පූජා කෙරුණා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. දශක තුනකට අධික කාලයක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමෙන් පසු මව්බිමේ විජයග්‍රහණය සිහිපත් කරමින් මේ මහා දාගැබ ඉදිකරීම් 2010 වසරේ ආරම්භ කෙරුණා. ඒ, යුද්ධයේදී මියගිය 27,000කට අධික රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත්වූ 37,000කට අධික රණවිරුවන් සිහිපත් කරමින්.

    සෙත් පිරිත් සජ්ඤායනා මධ්‍යයේ මහා සංඝරත්නයේ සහ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් සඳහිරු සෑයේ කොත නිරාවරණය කෙරුණා. අනතුරුවයි, චෛත්‍යාරාජයාණන් වහන්සේ වෙත පළමු මල් පූජාව කෙරුණේ. සඳහිරු සෑ භූමියේ ඉදිකෙරුණු බුද්ධ මන්දිරය විවෘත කෙරුණේ, ඉන් අනතුරුවයි. මහා සංඝරත්නය පෙරටුකොටගෙන බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති කරඬු වහන්සේට ආභරණ පැළඳවීම ද මෙහිදී සිදුකෙරුණා.

    අනතුරුව සඳහිරුසෑය සඟසතුකොට පූජා කිරීම සහ කැබිනට් අනුමැතිය යටතේ එම පූජා භූමිය භාරකාර මණ්ඩලයක් යටතට පත්කිරීමට අදාළ සන්නස් පත්‍රය කියවීම සිදුකෙරුණා. ජනාධිපතිතුමා විසින් සඳහිරු සෑය සඟසතුකොට පූජා කිරීමට අදාළ සන්නස් පත්‍රය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. සඳහිරු සෑය සළපථල මළුව ආලෝකමත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

    Latest News