අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

නොවැ 15, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    මේ අතර, දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇති විය හැකියි.

    දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (15) දින වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකියි.

    ඉන් අනතුරුව, මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මෙම මස 18 දින පමණ වනවිට ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

    එමෙන්ම, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ බස්නාහිර දෙසින් හමා එයි.

    සුළගේ වේගය පැ.කි.මී. (40-50)ක පමණ අගයක් ගන්නා අතර, කන්කසන්තුරය සිට මන්නාරම,කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (55-60) පමණ දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවීමට ඉඩකඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනයේ කරන්නේ.

    Last modified on සදුදා, 15 නොවැම්බර් 2021 10:05

    Latest News