වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

ඔක් 30, 2021

    පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ත ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී අවසන් ගෞරව දැක්වීය.

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කළ මෙහෙය මෙන්ම රටතුළ විවිධ අර්බුධ හා ගැටලු ඇතිවන අවස්ථාවන්වල දී  ඒවා නිරාකරණය කිරීමට කුසලධම්ම නාහිමියෝ නායකත්වය ගෙන කටයුතු කළ ආකාරය අග්‍රාමාත්‍යතුමා මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළේය.

    සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ නිරත වූ කුසලධම්ම නා හිමියෝ සිය ජීවිත කාලයෙන් හැට හත් වසරක්ම ගතකරනු ලැබුවේ සම්බුදු සසුනේ චිරස්ථතිය වෙනුවෙනි.

    පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ප්‍රවීණ ගීත රචක පුජ්‍ය වැලමිටියාවේ කඥාණරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වන අවස්ථාවට වැඩම කර සිටියහ.

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සහ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූහ.

    අපවත්වී වදාළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමින්ගේ ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු පූර්ව රාජ්‍ය ගෞරව සහිතව  සහිතව හෙට (31) දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.

    Latest News