කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව

ඔක් 25, 2021

    ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.



    ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධව පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වන අදහස් සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (25) මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කළේය. කටුපොල් වගාව අදියර කිහිපයක් යටතේ අකර්මණ්‍ය කිරීමටත්, එම වගාව ප්‍රවර්ධනය නොකිරීමටත් රජය විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගයකි.

    එමෙන්ම දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසර ආර්ථිකයක් සඳහා වන ජනාධීපති කාර්ය සාධක බලකායට ඉදිරිපත්ව ඇති නිර්දේශ අනුව අප රටේ දැනට වගා කර ඇති කටුපොල් අදියරෙන් අදියර ගළවා ඉවත් කර එම ඉඩම්වල පරිසර හිතකාමී ශාක වර්ග වගා කිරීම සම්බන්ධ ව අදහස් ඉදිරිපත් ව තිබේ.

    මධ්‍යම පරිසර අධිකාරියේ හා රාජ්‍ය ආයතනයක් වන GSMB Technical Services (PVT) limited හි වසර 05ක විගණන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා සකස් කළ වාර්තා සම්බන්ධව සාකච්ඡා කරමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධව කරුණු විමසනු ලැබීය.

    පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ඊට සහභාගි වී සිටියහ.

    එහිදී අදහස් පළ කළ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිහු පෙන්වා දුන්නේ ජාතික පාරිසරික පනත යටතේ කටුපොල් වගාව කළමනාකරණය සඳහා පියවර ගත නොහැකි බවයි. දැනට රජය විසින් කටුපොල් වගාව ප්‍රවර්ධනය නතර කර තිබේ. එමෙන්ම කටුපොල් වගාව නිසා පරිසර හානියක් සිදුවන්නේ ද යන්න සම්බන්ධව ද පක්ෂව මෙන්ම විපක්ෂව ද අදහස් ඉදිරිපත් වී ඇත.

    විශේෂයෙන් කටුපොල් වගාව නිසා භූගත ජලය සිඳී යාම, ජල මුලාශ්‍රවලට හානි සිදුවීම මෙන්ම ඇතැම් වනසතුන්ට ද එල්ල වී ඇති අහිතකර බලපෑම් සම්බ්නධයෙන් ද පරිසරවේදීන් මෙන්ම විවිධ විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි. විශේෂයෙන් කටුපොල් ගසකට දිනකට ජලය ලීටර් 400ක් පමණ අවශ්‍ය වේයැයි හෙළිදරව් වී තිබේ. එමනිසා කටුපොල් වගාව නිසා භූගත ජලය සිඳී යාමේ තත්ත්වයක් ද ඇතැයි ඔවුහු පැවසූහ.

    දැනට ලොව පුරා එළවළු තෙල් සඳහා වන අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණ සපුරනු ලබන්නේ පාම් ඔයිල් හෙවත් කටුපොල් මගිනි. එළවළු තෙල් සඳහා පාම් ඔයිල් හොඳ ආදේශකයකි. එමෙන්ම පාම් ඔයිල් ටොන් එකක් සඳහා වගා වට අවශ්‍ය භූමිය අනිකුත් ඒවාට වඩා අවමය. නමුත් කටුපොල් වගා කර ඇති රටවල් ක්‍රමයෙන් ඉන් ඉවත්වන ආකාරයක් ද පිළිබිඹු වේ.

    ඒ අනුව දැනට කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමට ගෙන ඇති වැඩ පිළීවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම කටුපොල් වගාව හා එමගින් සිදුවන පාරිසරික හානිය පිළිබඳ විදිමත් පර්යේෂණයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් තවදුරටත් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    Latest News