පාස්කු ප්‍රහාර සිද්ධියේ විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දෙයි

ඔක් 04, 2021

    පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියේ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙයි.

    2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා.

    දමිත් තොටවත්ත අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

    මෙම නඩුවේ 15 වන විත්තිකරු වු මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් නමැත්තා කොරෝනා ආසාදිත වී සිටින හෙයින් ඔහු අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුවන් 24 දෙනාට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර භාර දුන්නා.

    එහිදී විත්තිකරුවන් 14 දෙනෙකු වෙනුවෙන් පමණක් නීතිඥවරු පෙනී සිටි අතර මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු වෙනුවෙන් නීතීඥවරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    ඒ පිළිබඳව විනිසුරුවරු විමසූ අවස්ථාවේ දී නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ කියා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ වියදමින් දමිළ භාෂාව දන්නා නීතිඥවරයෙකු පත්කරන ලෙසයි.

    ඒ අනුව මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දමිළ භාෂාව දන්නා නීතිඥවරුන්ගේ නාමලේඛනයක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නියම කළා.

    මෙම නඩුවේ චෝදනා පත්‍ර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති හෙයින් තමන්ට එහි දමිළ පරිවර්තනයක් ලබාදෙන ලෙස නඩුවේ ප්‍රධාන විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 17 දෙනෙකු ද අධිකරණයෙන් ඉල්ලීම් කර සිටියා.

    මොහොමඩ් අක්‍රම් අහක්කම් නමැති විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන්ට චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ලබා දෙන ලෙසයි.

    ඒ අනුව විත්තිකරුවන් ඉල්ලා සිටින් ආකාරයට මෙම නඩුවේ චෝදනා පත්‍ර දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යවලට පරිවර්තනය කර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පැමිණිල්ලට නියම කළා.

    විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මෙම නඩුවට පාදක වන සිද්ධින් හා කරුණු ඉතා සංවේදී ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළා.

    ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වූ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එක්තරා ආගමික අන්තවාදී කණ්ඩායමක් නියෝජනය කරන අන්තවාදීන් පිරිසක් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය නිසා පුද්ගලයින් 275 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 586 ක පිරිසක් තුවාල ලැබූ බව සඳහන් කළා.

    පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මඩකලපුවේ සියොන් දේවස්ථානයට අලුත් ඇදුම් ඇදගත් කුඩා දරුවන් තමන්ගේ දෙමවුපියන්ගේ අත්වල එල්ලී දේවස්ථාන කරා ගියේ තමන් මේ යන්නේ අවසන් ගමන් බව නොදැනයි.
    තම දරුවන්ගේ උන්නතිය උදෙසා යාච්ඤා කිරීමට දේවස්ථානය කරා සිය දරුවන් සමඟ ගිය දෙමව්පියන් ද තමන් මේ යන්නේ අවසන් ගමන ලබන බව ඔවුන් විසින් නොදැන සිටින්නට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සංවේදී ආකාරයෙන් සඳහන් කර සිටියා.

    මෙලෙස දෙවියන් යාඥා කිරීමට ගිය ජනතාවට කුරිරු බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවීම නිසා ඔවුන්ගේ සමීපතයින්ට හා ඥාතීන්ට අද ඉතිරි වී තිබෙන්නේ ඔවුන් පිළිබඳ සොදුරු මතකයන් හා ත්‍රස්තවාදයේ කුරිරු බව පමණයි.

    මෙම ඛේදජනක සිද්ධිය අපි කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. මෙම අවාසනාවන්ත ප්‍රහාරය නිසා මිනිස් ජීවිත පමණක් නෙවෙයි සාමය, සංහිඳියාව, සහෝදරත්වය අපගෙන් ගිලිහී ගියා. ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පාස්කු ඉරිද මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අන්තවාදීන් තෝරාගෙන ඇත්තේ තම මතවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් යැයි ද මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

    ඉතා සුළු පිරිසක් මෙවැනි අන්තවාදී කටයුතුවලට ඇබ්බැහි වී සිටින බවත් ඔවුන් විසින් ආගමික මතවාද විකෘති කරමින් සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකිය යුතු බවත් ඇය සඳහන් කර සිටියා.

    මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රය ලංකා ඉතිහාසයේ මෙතෙක් අසා නොතිබුණු ආකාරයේ චෝදනා පත්‍රයක් යැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය එහි චෝදනා 23270 ක් අන්තර්ගත වන බව සදහන් කළා.

    එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා අදාළ විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධ විමර්ශන අංශයවල දක්ෂතාවන් ඇගැයීමකට ලක් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය ඈතැම් විමර්ශන කටයුතු සඳහා ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනවල සහාය ලබාගත් බවද සඳහන් කර සිටියා.

    මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක් වූ අතර බෝම්බ පිපිරීමට සදහා යොදාගත් ද්‍රව්‍ය සොයා ගැනීම, වාහන සොයා ගැනීම, බෝම්බකරුවන් මෙන්ම විත්තිකරුවන් රැඳී සිටි ආරක්ෂක නිවස සොයා ගැනීම ඇතුළු වූ වෝහාරික සාක්ෂි සොයා ගැනීමේ පරීක්ෂණ පැමිණිල්ලට දැඩි අභියෝගයක් වූ බවයි ඇය සඳහන් කළේ.

    රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව දිවිහිමියෙන් කටයුතු කරන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි පරිශ්‍රමයක් දරා මෙතරම් විශාල චෝදනා සංඛ්‍යාවක් සහිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද ඇය සඳහන් කර සිටියා.

    ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත් කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් තම දෙපාර්තමේන්තුව සියලු කැපකිරීම් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියම කළේ එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රවල ලේඛන අතිවිශාල සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා අද දින රැගෙන යාමට අපහසු නම් අද සිට මාසයක් ඇතුළත අධිකරණය රෙජිස්ට්‍රාර් වරයාගේ කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවයි.

    එමෙන්ම මෙම නඩුවේ චෝදනා 23000 අධික සංඛ්‍යාවක් තිබෙන හෙයින් ඒවා විවෘත අධිකරණයේ එක් එක් විත්තිකරුවෙකු වෙනුවෙන් කියවා දීමට ගිය හොත් අවම වශයෙන් මාස 6 කට වැඩි කාලයක් ගතවනු ඇති බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ.

    ඒ අනුව එක් එක් විත්තිකරුට අදාළ වන චෝදනා වෙන්වෙන්ව තෝරාගෙන ඒවා විවෘත අධිකරණයේ කියවීම තුලින් කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි යෝජනා කළ සභාපති විනිසුරුවරයා මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා.

    අනතුරුව නඩුව නැවත නොවැම්බර් මස 23 වන දා කැඳවන ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවා.

    නඩු විභාගය පවතින සෑම දිනකම විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වග බලා ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ ඉදිරිපත් කිරීමට අපහසු නම් විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ගේ පෙනී සිටීම අධිකරණය හමුවේ තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් නියම කළා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් ( අබු සිලා) , මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා ), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ( අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා , මොහොමඩ් අන්සාර් දීන් හිල්මි, මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර සිටිනවා.

    ඔවුන් සියලු දෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

    Latest News