'ගම්පහ එන්නත් නොගත් වැඩිහිටියන් 16,677ක්...' සංචාරක ඇමති

අගෝ 24, 2021

    ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 16,677ක් මෙතෙක් එන්නත් කර නැතැයි,සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොරෝනා වෛරසයෙන් මෙම පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ මොවුන් වෙනුවෙන් විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වයස අවුරුදු 60ට වැඩි මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 593ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුද්ගලයින් 1443ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුද්ගලයින් 2254ක්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 780ක්,ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුද්ගලයින් 1164ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 2594ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 677ක්, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 1132ක්, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 944ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 871ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ මෙතෙක් ලබා ගෙන නැති බව තහවුරු වී තිබේ.

    සෞඛ්‍ය අංශ හා පොලීසියේ මැදිහත්වීමෙන් එම පුද්ගලයින් එන්නත්කරණය කිරීමට කටයුතු යොදා ඇති අතර එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණීමේ හැකියාවක් නැති අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට පළාත් පාලන ආයතනවල මැදිහත්වීමෙන් ගමන් පහසුකම් ලබා දෙයි.

    කෙසේ වෙතත් එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණීමට නොහැකි පුද්ගලයින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් එන්නත් කිරීම මේ යටතේ සිදු කෙරේ.

    කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගෙන් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් හා එන්නත්කරණය නොවූ පුද්ගලයින් බව පෙනී යන හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ ද තීරණය විය.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 15:51

    Latest News