අනුරාධපුර පරිසර සමුළුව හෙට සල්ගාදු කී‍්‍රඩාංගණයේ දී (වීඩියෝ)

පෙබ 13, 2019

    පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව හෙට (14) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දි පැවැත්වේ.

    පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ දී අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණ දී සිටින පරිසර ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන අතර අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණදෙන වන අලි ගැටලුව එහිදී ප‍්‍රමුඛ වෙයි.

    එමෙන්ම මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් සහ පාසල් සිසුන් ද මෙම සමුළුවට එක්වන අතර පරිසර සංරක්ෂණය පිළිබඳව ඔවුන් මගින් ජනතාව දැනුවත් කිරීම ප‍්‍රධාන අරමුණයි. මේ අතර රටම මුහුණදෙන කසළ කළමනාකරණය, ජල ප‍්‍රභවයන් ආරක්ෂා කර ගැනීම, වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් මෙහිදී යොමු කෙරේ.

    පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජාතියට හඳුන්වා දුන් පුළුල් වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙළ වන්නේ “නීල–හරිත යුගයක්” අනාගත ශ‍්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා වන කි‍්‍රයාදාමයයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියල්ලම ඒකාබද්ධ කර ගනිමින් මෙම පුළුල් වැඩසටහන මේ වන විට ශක්තිමත්ව කි‍්‍රයාවට නංවා තිබේ.

    හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ කි‍්‍රයාකාරකම්, හරිත ගොඩනැගිලි සංකල්පය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන්, ක‍්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්, පරිසර හිතකාමි විද්වත් කථිකා තුළින් පාරිසරික සාක්ෂරතාව වර්ධනය කිරීම, ජනාධිපති පරිසර සම්මාන, ජාතික පරිසර නියමු වැඩසටහන ශක්තිමත් කිරීම, රුක් රෝපණ වැඩසටහන් ආදි වශයෙන් පුළුල් පරාසයක පැතිරුණු කි‍්‍රයාදාමයක් මෙහි අන්තර්ගතය.

    මෙවැනි පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් රටට හඳුන්වාදීම කඩිනමින් සිදු කෙරුණේ 2015 වර්ෂයේ දී ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක නායකයන්ගේ පරිසර සමුළුවේ දී ඇතිකරගත් එකඟතාවලට අනුගත වූ ආසියාවේ ප‍්‍රමුඛ රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කරමිනි. 

    මේ අතර පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා මෑතක දී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹුණු අතර අනවසරයෙන් ගංගා ඇළ දොළවල වැලි ගොඩ දැමීම තහනම් කිරීම, වනාන්තර එළිකිරිමට විරුද්ධව නීති-රීති ශක්තිමත් කර වන සම්පත ආරක්ෂා කර ගැනිමට පියවර ගැනීම, ඉදිකිරීම්වලදි පරිසර වාර්තා සැපයීම අනිවාර්යය කර නායයාම්, ජල ගැලීම් වැනි පාරිසරික ගැටලු අවම කර ගැනීමට පියවර ගැනීම යන කරුණු ඒ අතරින් ප‍්‍රමුඛ වෙයි.

    මේ අතර පොලිතින් තහනම මෙන්ම ගස් කැපීමට භාවිතා කරන චේන්ෂෝ යන්ත‍්‍ර බලපත‍්‍රයකට යටත් කිරීම මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කිරීම ජනාධිපතිතුමා විසින් අනාගතය වෙනුවෙන් පරිසර රැක ගැනීමට ගත් වැදගත් තීන්දු තීරණ වෙයි.

    28% ක් වන මෙරට වන ගණත්වය ඉදිරි වසර කිහිපය තුළ 32‍% දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂාව වන අතර, එම අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ වන විනාශය වසරකට 1‍% ක් බැගින් අඩු කර ගැනීමේ වැඩපිළිවෙළ ද ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට කි‍්‍රයාත්මකය.

    ඒ යටතේ පාසල් දරුවන්, රාජ්‍ය අංශය හා පොදු ජනතාව පැළ සිටුවීමට යොමු කරමින් රාජ්‍ය අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව පැළ සිටුවීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කර තිබේ.

    අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදාදීම සහ පළතුරු වගා ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර ලබාදීම, දිස්ති‍්‍රක්කයේ මී පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියකට මූල්‍යාධාර ලබාදීම, පූජා නගරයේ අවිධිමත් කසළ කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් හෙට ජනාධිපතිතුමාගේ ප‍්‍රධනත්වයෙන් සිදු කෙරෙන අතර, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිස්ති‍්‍රක්කයේ ජනතාවට වැසි ජල ටැංකි 5000 ක් බෙදාදීමේ වැඩසටහන ද ආරම්භ කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 15:59

    Latest News