අධ්‍යාපනයට වෙන් වූ ‘Vision FM’ ඇරඹේ

අගෝ 16, 2021

    පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් අද සිට ආරම්භ කෙරේ.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ විකාශය අරඹන මෙම ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධ ක්‍රියාත්මක කෙරේ.

    අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාවක් ඇරඹීමට පසුගිය දා තීරණ කෙරිණ.

    ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්ම කෙරේ.

    එමෙන්ම රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ.

    මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබේ.

    සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්‍දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිශ්චිත වී තිබේ. ඒ අනුව පවතින තත්වය හමුවේ හොඳ ම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් ව ඇත.

    දැනට විකාශනය කෙරෙන ගුරු ගෙදර ඊ තක්සලාව ආදී වැසටහන්වලට අමතරව මෙම නාලිකා ක්‍රියාත්ම කෙරේ.

    මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී. ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා අවධාරණය කළේ ය.

    විෂන් එෆ්එම්නමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 හා 102.3 යන එෆ්එම් තරංග මාලා ඔස්සේ මෙම නාලිකාව විසුරුවා හැරේ. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රි දක්වා පැය 20 ක් පුරා මෙම නාලිකාව ක්‍රියාත්මකයි. එම කාලයෙන් සියයට 65 ක් විෂය මුලික ඉගැන්වීම් සදහාද සියයට 35 විෂය මුලික නොවන ඉගැන්වීම් සදහා ද වෙන් කර ඇත.

    Latest News