වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ-මොස්කව් ගුවන් ගමන් යළි අරඹයි

අගෝ 01, 2021

    වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ-මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කරයි.

    ඒ අනුව පසුගිය සිකුරාදා (30) රාත්‍රී 10.20 ට UL 533 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මොස්කව් බලා පිටත්ව ගියේය. 31 වන දින අලුයම 04.30 ට මොස්කව් DOMODEDOVO ගුවන් තොටුපළට ගොඩ බැස්සවු අතර මෙම ගුවන් යානයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු දූත පිරිසක් ද වූහ.

    ඒ අනුව සෑම සතියක ම සිකුරාදා කොළඹින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මොස්කව් බලා ගමන් කිරීමට නියමිත අතර එම ගුවන් යානය මොස්කව් ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 08 ක් සහ විනාඩි 25 ක කාලයක් ගතවේ. පසුදින මොස්කව් සිට කටුනායක දක්වා මෙම ගුවන් යානය ආපසු පැමිණීමට නියමිතයි.

    වසර 06 කට පසු කොළඹ සහ මොස්කව් අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තතෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සමාරම්භක වැඩසටහනක් පැවති අතර එහිදී ඇමති පසන්න රණතුංග මහතා සදහන් කළේ වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා රුසියාව අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹිම දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට ඉවහල් වනු ඇති බවයි. විශේෂයෙන් ම මෙරට සංචාරක ව්‍යාපාරය සදහා මෙය ඉතා හොද ආරම්භයක් බව ද ඇමතිවරයා කීවේය.

    අමාත්‍යවරයා රුසියාවේ රැදී සිටින කාලය තුළ එරට සංචාරක හා ගුවන් සේවා ප්‍රධානීන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

    Latest News