කොතලාවල සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගෙනෙනවා - ජනපති

ජූලි 19, 2021

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    බෞද්ධ උපදේශක සභාව 11 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එන්නත්කරණ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

    රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ද රාජපක්ෂ මහතා කීවේය.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බව පැවැසු ජනාධිපතිවරයා, උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් කීවේය.

    උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි වීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි යැයි විශ්වාස කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් මර්දනය සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.

    Latest News