15 හැවිරිදි දැරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගැනේ

ජූලි 16, 2021

    අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දුූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අද පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අතවරයට පත් දැරිය විසින් හඳුනා ගැනිණ.

    එම හඳුනාගැනීමේ පෙරට්ටුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ පැවැත්විණ. 

    එහිදී අතවරයට පත් දැරිය විසින් සැකකරුවන් හතර දෙනාම හඳුනාගත් බවව මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ නිවේදනය කළේය.

    මෙසේ හඳුනා ගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයාට අමතරව බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකු ද ඇතුළත් වෙයි.

    ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේය. 

    මෙහිදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියා අධිකරණය හමුවේ කියා සිටියේ මාලදිවයින ජාතිකයාට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබුණ ද සෙසු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවයි. 

    ඔවුන් ඇප මත මුදා හැරීම තුළින් විමර්ශන කටයුතුවලට බාධා සිදු වන බවයි, පොලිසීය අධිකරණය හමුවේ කියා සිටියේ.   

    ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර මාලදිවයින් ජාතිකයා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

    ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    සෑම ඉරු දිනකම පෙරවරුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවටයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර මාලදිවයින් ජාතිකයාට නියෝග කළේ.

    සෙසු සැකකරුවන් තුන්දෙනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් ඔවුන් ලබන 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    Latest News