දැරිය අපයෝජනය කළ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

ජූලි 08, 2021

    15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර අපයෝජනය කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි.

    හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ මේ පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සදහා අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම සිද්ධියට අදාළව 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාද ඇතුළත්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ
    වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

    සිද්ධිය සැලවීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පියවර ගත්තා. නාවික හමුදාපතිවරයාගේ නියමයෙන් මොහු සම්බන්ධයෙන් නාවික හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කරන්නේ. දැරිය අපයෝජනය කළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද, චීවරධාරියෙකු මෙන්ම මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වනවා.

    Latest News