නෞකාවේ වන්දි මුදල් බෙදා හැරීමේදී ධීවර ජනතාවට ප්‍රමුඛතාව ලබාදෙනවා; අමාත්‍ය අලි සබ්රි

ජූලි 05, 2021

    එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානියට ලැබී ඇති වන්දි මුදල් බෙදා හැරීමේදී පීඩාවට පත් ධීවර ජනතාව වෙත ප්‍රමුඛතාවක් ලබාදෙන බව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (05) පැවති සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියේය.

    සාකච්ජාව පැවැත්වුණේ අධිකරණ අමාත්‍යාංශයේදී. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, කංචන විජේසේකර සහ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

    නෞකාවේ ගින්නෙන් සිදුවූ හානියට වන්දි ලබාගැනීම සඳහා සිදුකර ඇති කාර්යයන් හා හානි තක්සේරු කිරීමට පත්කළ කමිටුවේ වත්මන් තත්වය මෙහිදී සාකච්ජාවට බදුන් විය. නෞකාවේ ගින්න හේතුවෙන් සාගරයේ ගිලී ඇති බහලුම් තුළ අවදානම් සහිත ද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

    ඒ සඳහා කඩිනම් පියව රගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම කටයුතු සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදිය යුතු බවට මෙහිදී තීරණය කෙරිණ. වන්දි ලබාගැනීමේදී ආර්ථිකයට වී ඇති හානිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ සතිය ඇතුළත ලබාදීමට නියමිතයි. හානිය පිළිබඳව මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විශේෂඥයන් විසින් සිදු කරනු ලැබ ඇති අධ්‍යනයන් කෙරෙහි ද සාකච්ජාවේදී අවධානය යොමු කර තිබේ.

    රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News