ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් වැඩ බාරගනී

ජූලි 01, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අද (01) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

    හීන්කෙන්ද මහතා මේ තනතුරට පත් කරනු ලැබුවේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්. ඔහු 2010 සිට වසර 5ක කාලයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද මීට පෙර රාජකාරී කර තිබේ. ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

    වැඩබාර ගැනීමේ අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විජයානන්ද හේරත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් හේරත් සහ ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්වූහ.

    Latest News