අගමැතිතුමාගෙන් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම්

ජූනි 21, 2021

    මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින ප්‍රකාශ කළේය.

    මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය. මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශය ද සැළකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් මේ වන විටත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ ඉල්ලීම මත සංචාරක අලෙවිය මත පදනම් වූ ආදායම් බදු ශ්‍රී ලංකාව තුළ විදේශීය මුදල් භාවිතයේ දී නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් අගමැතිතුමා පැවසීය.

    මෙරට මැණික් සහ ස්වර්ණාභරණ කේෂ්ත්‍රය ලොව පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අගමැතිතුමාගේ අවධානය යොමු විය. එවකට ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 දක්වා ලබා දුන් සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන මෙම සහන යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ මෙහි දී පැවසූහ.

    අය-වැය මඟින් දැනටමත් අපනයනකරුවන් සඳහා සහන ලබා දී ඇති බව පෙන්වා දුන් අගමැතිතුමා, එම සහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මහ බැංකු අධිපති ඩබ්.ඩී ලක්ෂ්මන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Latest News