නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම හෙට (31)

මැයි 30, 2021

    ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම හෙට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔවුන්ගෙන් මෙතෙක් කලක් ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වී තිබුණේ ඔවුන් නිරෝධායනයට යොමුකර තිබුණු නිසා බව මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි. මෙම නෞකාවේ ගිනි ගැනීම් හේතුවෙන් සිදුවූ පරිසර හානිය පිළිබඳ පසුගිය 23 වැනිදා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා විසින් කොළඹ වරාය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    ඒ අනුව විමර්ශන ආරම්භ කළ එම පොලිසිය සිද්ධිය වූ මුහුදු සීමාවේ ජල සාම්පල රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කළේය. ඒ අධිකරණ නියෝගයකට අනුවයි. මෙම නැවේ දේශීය නියෝජිත ආයතනය සම්බන්ධ කර අදාළ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර තිබේ. ඊට කපිතාන්වරයා ඇතුළු 25ක් ඇතුලත්.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්විණ. ඒ නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News