සයිනොෆාම් එන්නතේ මිල ගණන් ගැන ශ්‍රී ලංකාවේ ව්‍යාජ පුවතක් සංසරණය වන බවට චීනයෙන් ප්‍රකාශයක්

මැයි 29, 2021

    සයිනොෆාම් එන්නත බංග්ලාදේශයට සැපයීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවාදයට ලක්වී ඇති මිල ගණන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වී ඇති කරුණක් වන්නේ, බංග්ලාදේශය අඩු මිලකටත්, ශ්‍රී ලංකාව වැඩි මිලකටත් සයිනොෆාම් එන්නත මිලදී ගන්නා බවයි. කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් අද පස්වරුවේ නිකුත් කර තිබිණ. එහි දැක්වෙන්නේ සයිනොෆාම් එන්නතේ මිල ගණන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළවන වාර්තා ගැන විමසීමක් කළ බවයි.

    බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්ම සයිනොෆාම් නිෂ්පාදන ආයතනයෙන් ද මේ ගැන තොරතුරු විමසූ බව චීන තානාපති කාර්යාලය පවසයි. එහිදී තහවුරු වී ඇත්තේ, බංග්ලාදේශය සයිනොෆාම් එන්නත මිලදී ගැනීමේ සාකච්ජා තවමත් අවසන් වී නැති අතර, මිල ගණන් ගැන එකඟතාවක් ඇති කරගෙන නොමැති බවයි.

    ශ්‍රී ලංකාව තුළ සංසරණය වන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව මෙරට චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

    Latest News