මොරටුව නගරාධිපති ලබන 11 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

මැයි 28, 2021

    කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ලබන 11 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කෙරිණ.

    ඒ, සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද (28) ඉදිරිපත් කළ අවස්ථාවේදී. මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා පැවති එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    ඒ පිළිබඳව මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අතර ඔහු අද ගල්කිස්ස පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. සැකකරු මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 11 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නියෝග කෙරිණ.

    Latest News