සාමාන්‍ය ජන ජිවිතයට බලපාන සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට රජය ප්‍රකාශයට පත් කෙරේ

මැයි 27, 2021

    සාමාන්‍ය ජන ජිවිතයට බලපාන සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට රජය ප්‍රකාශයට පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණ. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

    ඒ අනුව, කොවිඩ්-19 රෝග නිවාරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන පහත දැක්වෙන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අදාළ සියලුම සේවා, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායුව ඇතුළු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම්, වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, බාරදීම හෝ ඉවත් කිරීමට අදාළ සේවා, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම, මගීන් ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අදාළ පොදු ප්‍රවාහන සේවා එකී සේවාවන් පවත්වා ගැනීමට අවශ්‍ය නඩත්තු හා ආරක්‍ෂක මෙහෙයුම්, සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම, සමෘද්ධි කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු ක්‍ෂේත්‍ර මට්ටමේ නිලධාරින් ඉටු කළ යුතු සියලු සේවා, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්‍ෂණ සේවා, පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කළමණාකරණය යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකේ.

    Latest News