අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස වෙනුවෙන් නිවාස ආධාර ලබාදෙන්න - අගමැති

මැයි 18, 2021

    අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී දැනුම් දුන්නේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත යොමු කරණු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේ අගමැතිතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේය.

    ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනතෙහි සංශෝධන කෙටුම්පත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් මෙහි දී උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළේය.

    ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පවතින පැල්පත් නිවාස පිළිබඳව හෙළි කරමින් මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අදහස්වලට අවධානය යොමු කළ අගමැතිතුමා එම ස්ථානවලට නිවාස යෝජනා ව්‍යාපෘතී සැළසුම් කරන්නැයි අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කෝකිලා ගුණවර්ධන මහත්ම මහත්මීන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    Latest News