ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙක් මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි

මැයි 08, 2021

    මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

    කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත නිරෝධායන මධ්‍යස්ථානයකින් එවන ලද වෛරස් සාම්පලයකින් මෙම වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනාගෙන ඇති බවයි, ඔහු පවසන්නේ.

    මීට අමතරව, බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් ද පහත ප්‍රදේශවලින් හමුව තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශය

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

    කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

    මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

    පොළොන්නරුව - මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.

    එමෙන්ම, B.1.351 දකුණු අප්‍රිකානු වෛරස කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන තිබේ.

    නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

    ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛරස ප්‍රභේදය යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News