කොරෝනා අවදානම නිසා පොදු ක්‍රියාකාරකම් පිළිබඳ සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක්....

අප්‍රේ 23, 2021

    ඉදිරියේදී ඇති විය හැකි කොරෝනා රෝග ව්‍යාප්ති අවදානම හේතුවෙන් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

     සෑම පුරවැසියෙකුම එය පිළිපැදිමට ක්‍රියා කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි. අත්‍යවශ්‍ය සේවා සහ අවසර ලබාදී ඇති ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නැති නම්, එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට අවසර දී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණි.

    පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාව දක්වා පමණක් මගීන් ප්‍රවාහන කිරීමට අවසර හිමිවේ. කාර් සහ ත්‍රීරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා වන අතර, වෙනත් වර්ගවල වාහන සඳහා එහි ආසන ධාරිතාව දක්වා එම සීමාව බල පැවැත්වේ.

    විදුලිය, ජලය, විදුලි සන්දේශ, ඉන්ධන පිරවුම්හල්, එල් පී ගෑස් ස්ථාන, මෝටර් රථ, ගරාජ්, ටයර් සේවා සහ තැපැල්, කුරියර් සේවා, රජයේ කාර්යාල හා පෞද්ගලික අංශයේ කාර්යාල සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමඟ ක්‍රියා කිරීමට අවසරය ඇති අතර, ආයතන ප්‍රධානියාට තම සේවකයන්ට හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබාදිය හැක.

    සම්මන්ත්‍රණ, වැඩමුළු, රැස්වීම්, සන්නාම දියත් කිරීම් වැනි ක්‍රියාකාරකම් සඳහා ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් භාවිත කරමින් උපරිම පුද්ගලයන් 50 කට යටත්ව එය සිදුකළ යුතුය. 

    සුපිරි වෙළෙඳසැල් සඳහා පුද්ගලයෙකුට ඇවිදීමට මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් පවතින ආකාරයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    බැංකු, මූල්‍ය සමාගම් ඇතුළු මූල්‍ය ආයතනවලට ඇතුල්වීමේදී ගණුදෙනුකරුවන්ට ලබාදිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ඔවුන් ඇතුලත් කරගත යුතුයි.

    එය අධිකරණ, විවෘත වෙළෙඳපොලවල්, ආර්ථික මධ්‍යස්ථාන, සිල්ලර වෙළෙඳසැල් සහ අනෙකුත් වෙනත් සියලුම අලෙවි සැල් සඳහා ද බලපැවැත්වේ. රජයේ හා පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර හා වෛද්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානියා තීරණය කරන සේවකයන් සමඟ සාමාන්‍ය ලෙස ක්‍රියා කළ හැකියි.

    දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල්, පෙර පාසල් 50%ක ධාරිතාවයෙන් ක්‍රියා කළ යුතුය. විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති තවදුරටත් ක්‍රියාත්මකවීමට අවසර හිමිවන්නේ නැහැ. මහජන එක්රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ ද නැහැ. ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙළෙඳ සාද, පිහිනුම් තටාක සම්පූර්ණයෙන් වසා දැමේ.

    මෙම මාර්ගෝපදේශ ඇතුළුව ක්ෂේත්‍ර 48ක් සම්බන්ධයෙන් අදාල උපදෙස් හා මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, එය අමාත්‍යාංශයේ www.health.gov.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි.

    පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ, පොදු ක්‍රියාකාරකම්වල නිරත විය යුතු ආකාරය පිළිබඳව, රජය නිවේදනයක් නිකුත් කර තිබේ. එය නිකුත් කර ඇත්තේ, තුන්වන අවදානම් මට්ටම මත පදනම්වයි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර තිබේ.

    ලබන මැයි මස 31 දක්වා, පොදු ක්‍රියාකාරකම්වල නිරත විය යුතු ආකාරය සම්බන්ධයෙන්, එහි උපදෙස් ඇතුලත් කර තිබේ. නිවසින් බැහැරවීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, රැකියා කටයුතු සිදු කිරීම, සුපිරි වෙළෙඳසැල්වල වෙත ගමන් කිරීම ආදිය සෞඛ්‍ය ආරක්‍ෂිතව සිදුකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව, නිවේදනයේ ඇතුලත්.

    අදාළ උපදෙස් සහ මාර්ගෝපදේශ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www'health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක.

    Latest News