“ඇස්ට්‍රාසෙනෙකා“ දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නවා; අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

අප්‍රේ 08, 2021

    අප්‍රේල් මස 23 වැනිදා සිට අදාළ කාල වකවානුවට අනුකූලව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    මේ අතර ශ්‍රී ලංකාව, ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අපේක්‍ෂා කෙරේ. මොඩර්නා, ජොන්සන් සහ ජොන්සන් ආයතනවලින් එන්නත් ලබාගැනීමට ද ගිවිසුම්ගත වන බව, අමාත්‍යවරිය කියා සිටියාය.

    “ඇස්ට්‍රාසෙනෙකා“ එන්නත මෙරට නව ලක්‍ෂ 24,758කට ලබාදී තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සයිනොෆාම් එන්නත මෙරට රැඳී සිටින චීන ජාතිකයින් 2469කට ලබාදී ඇති බවයි.

    “ඇස්ට්‍රාසෙනෙකා“ එන්නත් මාත්‍රා එක්ලක්‍ෂ 67,927ක් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා ලබාදී තිබේ. කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා ක්‍රියා කරන සෞඛ්‍ය අංශවල නොවන ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 128700ක්.

    අවදානම් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සඳහා එන්නත් 43,329ක් ලබාදී තිබේ. නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන් 3309ක් සඳහා ද එන්නත ලබාදී තිබේ. ප්‍රජාව තුළ වයස අවුරුදු 60 වැඩි 230832කට, වයස අවුරුදු 30ත්, 60ත් අතර 35,663කටත් ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Latest News