පිළිකාරක පරිප්පු තොගය ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි; මහජන සෞඛ්‍ය පරීක්‍ෂක

අප්‍රේ 02, 2021

    වැලිගම ප්‍රදේශයෙන් පිළිකාරක පරිප්පු තොගයක් සොයාගත් බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි.

    එම පරිප්පු තොගය පසුගිය වසරේ ජූලි මාසයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල් ඉකුත්වීම නිසා බව, ඔවුන් පෙන්වා දෙයි. පෞද්ගලික මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ, වැලිගමින් "ඇල්ෆටොක්සීන්" පිළිකාකාරකය සහිත පරිප්පු හමුවූ බවටයි. එම ප්‍රවෘත්තිය අසත්‍ය විකෘති කරන ලද තොරතුරක් බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එම්.එම්.එච්. නිහාල් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    වැලිගම ප්‍රදේශයෙන් පසුගිය වසරේ සොයා ගැනුණු කල් ඉකුත් වූ පරිප්පු තොගයේ සාම්පල අධිකරණ නියෝග මත රස පරීක්‍ෂකවරයා වෙත යොමු කෙරිණ. එම වාර්තාවේ ඇල්ෆා ටොක්සීන් පිළිකාකාරක අඩංගු බවට සඳහන් වී නොමැති බව, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ප්‍රකාශ කළේය.

    ඒ පිළිබඳව මාර්තු 31 වැනිදා මාතර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඒවා විනාශ කරන ලෙස අධිකරණය නියෝග කළේය. ඒ අනුව මෙම පරිප්පු තොගය විනාශ කරනු ලැබීය. මීට මාස 6කට පමණ පෙර, අත්අඩංගුවට ගනු ලැබූ කල් ඉකුත් වූ පරිප්පු තොගයක් පිළිබඳව, සාවද්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

    Latest News