රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වීම ගැන අගමැතිතුමාගේ ශෝක පණිවුඩය

අප්‍රේ 02, 2021

    මන්නාරම හිටපු රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්වූයෙමි.

    යාපනය දිස්ත්‍රික්කයේ නෙදුන්තිව් හි දී 1940 අප්‍රේල් 16වැනිදා උපත ලැබූ රායප්පු ජෝශප් හිමිපාණන් නෙදුන්තිව් රෝමානු කතෝලික පාසලෙන් සහ මුරුගන් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් සිය ද්විතීක අධ්‍යාපනය හැදෑරුවේ ය. ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන රායප්පු ජෝශප් හිමිපාණන් 1967 වසරේ දී පූජක දිවියට ඇතුළත් විය.

    1992 ජූලි මස 6 වන දින මන්නාරම රදගුරු පදවියට පත් වූ රායප්පු ජෝශප් හිමිපාණෝ 2016 ජනවාරි 16 වැනිදා තෙක්ම එම ධුරය හෙබවූහ. මානුෂීය මෙහෙයුමේ දී අපගේ අපේක්ෂාව වූයේ රටට සාමය උදා කිරීමේ මහඟු ප්‍රාර්ථනාවයි. රායප්පු ජෝශප් හිමිපාණෝ යුද ගිනි ඇවිලීගිය ප්‍රදේශයේ සිට එම ජනතාවට ආගමික සහනය ලබා දීම වෙනුවෙන් කළ කැපකිරීම අපි මේ මොහොතේ කෘතගුණ පූර්වකව සිහිපත් කරමු.

    මන්නාරම මරඳ මඩු මාතා දේවස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රායප්පු ජෝශප් හිමිපාණන් දැක්වූ දායකත්වය මෙහි දී සුවිශේෂීව සිහිපත් කළ යුතුය. රායප්පු ජෝශප් හිමිපාණන්ට දෙවියන් වහන්සේගේ ශ්‍රී වත මඩල දැකීමේ භාග්‍ය ලැබේවා ! යැයි මම ප්‍රාර්ථනා කරමි.

    Latest News