අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් දැයෙන් සමුගනී

මාර් 25, 2021

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අද (25) දැයෙන් සමුගත්තේය.

    උන්වහන්සේගේ දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය අද සවස නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

    දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.30ට උන්වහන්සේ වැඩ සිටි ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පිටත්විය. එතැන් සිට භික්‍ෂුන් වහන්සේ සහ දායක පිරිස දේහය ගාලු පාර දක්වා රැගෙන එනු ලැබීය. දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව ඉදිරිපිටදී දේහයට පුෂ්පෝපහාර පුද කිරීමක් ද සිදු කෙරිණ.

    අනතුරුව රිය පෙරහැර බම්බලපිටිය ඔස්සේ තුම්මුල්ල දක්වාත්, එතැන් සිට නිදහස් චතුරශුය දක්වාත් ළඟාවිය. ආදාහන පූජෝත්සවය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයන්, විදෙස් තානාපතිතිවරුන් හා සැදැවතුන් විශාල පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණ සිටියහ.

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන් මහා සංඝරත්නය වෙනුවෙන් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා රාජ්‍ය නිලදාරින් වෙනුවෙන් පිලිගැනීමේ කතාව සිදු කළේය.

    ශ්‍රී ලංකා අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජී, ශාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පුජ්‍ය නියංගොඩ විජිතසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය වෙනුවෙන් අග්ගමහා පණ්ඩිත පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන හිමිවරුන් මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

    අනතුරුව විදේශීය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ මහ නාහිමියන්ගේ දේහට පුෂ්පෝපහාර පුද කළේය. සෙසු සියලු පූජක උතුමන් වෙනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුශාසනාවක් පැවැත්විය.

    අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවමංගල්‍ය සභාව ඇමතීමට එක්විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එවා තිබූ ශෝක පණිවුඩය ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින්.

    පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලැබුවේ පූජ්‍ය බුද්ධයායේ ධම්මාලෝක හිමියන් විසින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 20:30

    Latest News