පා. ම. තිලක් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

මාර් 25, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බලල ඇති කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් මැයි මස 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    ඒ අනුව පෙත්සම මැයි මස 17 වනදා කැඳවීමට නියෝග කළ අධිකරණය එහි වගඋත්තරකරුවන්ට එදින කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

    මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ අම්පාර, පුංචි සීගිරිය රජමහා විහාරයේ විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමියන් විසින්.

    එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිසමේ හිටපු සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්වරයා, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර හිමියන් ප්‍රකාශ කරන්නේ ඉකුත් වසරේ අගෝස්තු මස පස්වන දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වගඋත්තරකාර තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වූ බවයි.

    ඉන්පසුව එම අගෝස්තු මස 20 වන දා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දුන් බවද පෙත්සමෙහි සඳහන්.

    වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා අම්පාර, සෞඛ්‍ය ‍ වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ විධායක ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියෙකු බවත් ඔහු නාමයෝජනා බාරදෙන අවස්ථාවේදීත් එම තනතුරෙන් ඉවත් නොවී කටයුතු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

    නාමයෝජනා භාර දෙන අවස්ථාවේ දී තමන් අදාළ තනතුරින් ඉවත්වූ බවට තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කර ඇති ප්‍රකාශය හා ලේඛන අසත්‍ය බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් ඒ අනුව ඔහු පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බව සඳහන් කළා.

    ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් මෙම නඩුවට පාදක වන ලේඛන අධිකරණයට ගෙන්වා විමර්ශනයක් සිදුකරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාර හිමියන් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    Latest News