මන්ත්‍රීධුරය සම්බන්ධ රංජන්ගේ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන තීන්දුව 31 වැනිදා

මාර් 24, 2021

    සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මේ මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම දින තුනක් සලකා බැලිණ.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන ගොනු කළ බවයි.

    පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම වූ තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වැනි දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයට ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තර කරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නියම කළේය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    Latest News