ලීසිං සඳහා සහන කාලය තවත් මාස 6 කින් දීර්ඝ කරන බවට දැනුම්දීමක්

මාර් 22, 2021

    සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන් ගේ වාහන මිලදී ගැනීම සඳහා මූල්‍ය ආයතනවලින් ලබා ගත් කල් බදු ලීසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දන්වා සිටියා.

    ලීසිං වාරික ආපසු ගෙවීමේ සහන කාල සීමාව වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව විසින් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ සචින්ත ඩයස් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා සඳහන් කළේ ඉදිරි මාස හයක කාල සීමාව තුළ ලීසිං වාරික නොගෙවන සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවයි.

    එම සහන කාල සීමාව තවත් දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ වන විට පවතින තත්ත්වය සලකා බලා මහ බැංකුව සුදුසු තීරණයක් ගනු ඇතැ යි ද ඔහු සඳහන් කළා.

    කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම මෙම මස 31වැනිදා නැවත කැඳවීමට නියම කළේය.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහචාර්ය ඩබ්ලිව් .ඩී .ලක්ෂ්මන්, එහි මූල්‍ය මණ්ඩලය, මූල්‍ය මණ්ඩල සාමාජිකයන්, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී .ජයසුන්දර , නම් කර තිබෙනවා.

    ඉකුත් වසරේ කොරෝනා වසංගතය පැතිරී ම සමග ජන ජීවිතය අඩාල වීම නිසා ලීසිං පහසුකම් ලබා ගත් අයට වාරික ගෙවීම සඳහා මහ බැංකුව විසින් සහන කාල සීමාවක් හඳුන්වා දෙන ලැබූ අතර එම සහන කාල සීමාව මෙම මස 31වැනිදා අවසන් වන බව පෙත්සමේ සඳහන් වෙනවා.

    එබැවින් අදාළ ණය ආපසු ගෙවීමේ සහන කාල සීමාව 2022මාර්තු මස තෙක් දීර්ඝ කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා.

    Latest News