රවී ඇතුළු 4ක් ලබන 25 අධිකරණයට....

මාර් 19, 2021

    රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණය අද නියම කළේය.

    ඒ, අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී. 2016 මාර්තු 31 වැනිදා මහ බැංකුව සිදු කළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත නඩුව පවරා තිබේ.

    නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන තිදෙනා පමණක් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණ.

    සෙසු විත්තිකරුවන් වන, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන චිත්ත රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර යන අය බන්ධනාගාර නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    ඒ අනුව, නඩුව ලබන 25 වැනිදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නාය. මෙහිදී ඇය අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ උදෘත මුද්‍රණය රජයේ මුද්‍රණාලයේ සිදු කෙරෙන බැවින් මීළඟ නඩු දිනයේදී ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකුට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්.

    Latest News