දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදාගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ (වීඩියෝ)

මාර් 13, 2021
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදාගැනීමේ නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරිණ.

    ඒ අනුව, එම වරද යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් හෝ බාර වන්නන්, පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීම සම්බන්ධ නියෝග එහි ඇතුළත්. ගැසට් නිවේදනයට අනුකූලව, අදාළ නියෝග යටතේ පොලිස් නිලධාරියෙකු නොවන යම් තැනැත්තෙකු වෙත බාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්, පැය 24ක් තුළ ආසන්නතම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත බාරදිය යුතුය.

    ඔහු පිළිබඳ විමර්ශන සිදු කළ යුතුද යන්න පිළිබඳව සලකා බැලීම පිනිස, විෂය බාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම ද සිදුකළ යුතුය. ඊට අනුකූලව අදාළ තැනැත්තා නිශ්චිත වශයෙන්ම වරදක් සිදුකර ඇත්නම්, නීති ප්‍රකාරව ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකී කාරණය නීිතිපතිවරයා වෙත යොමු කළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

    ඔහු පුනරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බවට නීතිපතිවරයාගේ මතය වූ විට, අදාළ වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇති ද යන කාරණය පිළිබඳව සොයා බැලීමෙන් පසුව, වසරකට නොවැඩි කාලයකට පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට නියෝග කළ හැකියි.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 19:30

    Latest News