ජනාධිපතිතුමාගේ කාන්තා දින පණිවුඩය

මාර් 08, 2021

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මෙවර තේමාව වන්නේ "රටක දැයකි, ලොවකි ඇය" යන්නයි.

    අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයෙහි 1857 වර්ෂයේදී පෙළපාලියක් පැවැත්විණ. ඒ සේවක අයිතිවාසිකම් හා සම අයිතිය ඉල්ලමින්. එම පෙළපාලිය ලොව ප්‍රථම කාන්තා පෙළපාලියයි. අනතුරුව, 1910 දී පැවැත්වුණු සමාජවාදී කාන්තා සම්මේලනයේදී යෝජනා වූයේ, කාන්තා නිදහස වෙනුවෙන් මාර්තු 8 වැනිදා වෙන්කළ යුතු බවයි.

    ඒ අනුව, මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරිණ. යෝජනාව ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරුනේ, අමෙරිකාවේ සහ ජර්මනියේ. ලොව පුරා කෝටි සංඛ්‍යාත කාන්තාවන් මාර්තු 8 වැනිදා තම අයිතීන් සිහිපත් කරමින් සැමරුම් උත්සව ගණනාවක් සංවිධාන කෙරිණ.

    මෙරට ජනගහණයෙන් හරි අඩකට වැඩි පිරිසක් කාන්තාවන්. සංවර්ධිත රටවල මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල ද කාන්තාවන් ආර්ථිකයට සුවිශේෂ දැයකත්වයක් දක්වයි. යම් රටක කාන්තාවට සලකන ආකාරය, එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්. ඒ අතින් ශ්‍රී ලංකාව බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    කවර ප්‍රජාවක වුවද, මුලික ඒකකය වන පවුල් සංස්ථාවේ පදනම සකසන්නේ කාන්තාවයි. සිය ජිවිත කාලය තුළ නන්විද භූමිකා ඉටු කරන ඇය, පවුල් ඒකක එක් වීමෙන් නිර්මාණය වන සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් බඳුයි.

    මුදලින් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇයගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රියගේ අභිමානය, ගෞරවය සහ සතුට‍ ආරක්‍ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් බව, ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    කාන්තාවගේ කාර්ය භාරය නිවැරදිව හඳුනාගත් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ, ආර්ථික ප්‍රවර්ධනයට ප්‍රතිඥා දී තිබේ. එහි සඳහන් අට වැදෑරුම් ක්‍රියාමාර්ග දැන් යථාර්තයක් බවට පත් කෙරෙමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

    Latest News