කොරෝනා කාලයේ ඖෂධ පාර්සල් ලක්‍ෂ17ක් තැපැලෙන් බෙදලා

මාර් 03, 2021

    රජයේ රෝහල් මගින් බෝ නොවන රෝගීන් සඳහා නිකුත් කෙරෙන සායනික ඖෂධ පාර්සල් ලක්‍ෂ 17ක ප්‍රමාණයක් කොරෝනා වසංගත සමය තුළ එම රෝගීන්ගේ නිවෙස් කරා බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ ඊයේ පැවති සාකච්ජාවකදී ඒ පිළිබඳ තොරතුරු හෙළි කෙරිණ.

    තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් මීට එක්ව සිටියහ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රෝහල් කරා ගොස් සායනික ඖෂධ ලබාගැනීම ජනතාවට අපහසු වී තිබිණ.

    අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම ඖෂධ පාර්සල් රෝගීන්ගේ නිවෙස් වෙතටම බෙදාහැරීම ආරම්භ කෙරිණ.

    තැපැල්පති රෝහණ ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, ඊයේ වනවිට ඖෂධ පාර්සල් ලක්‍ෂ 17ක ප්‍රමාණයක් බෙදා හැරීමට හැකිවූ බවයි.

    අවදානම් තත්වය නොතකා පසුගිය කාලය තුළ තැපැල් සේවකයන් ඉටු කළ සේවාව ඇගයීමට ලක්කරන බව, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඔවුනට ප්‍රමුඛතාව ලබාදෙමින් කොරෝනා එන්නත ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    තැපැල් සේවාවේ මෙතෙක් නොවිසඳුණු ගැටලු නිවැරදි යාන්ත්‍රණයක් ඔස්සේ විසඳීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් බඳවා ගැනීම්, වැටුප් විෂමතා ඇතුළු ගැටලු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරන බව ද කියා සිටියේය.

    මේ අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ තැපැල් දෙපාර්තමේන්තුවේ විසි දහසක් පමණ වන නිලධාරීන් හා සේවකයන් සඳහා භාෂා ප්‍රවීණතාව ලබාදීම ද ඊයේ ආරම්භ කෙරිණ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති හීන්කෙන්ද, නියෝජ්‍ය තැපැල්පති රජිත රණසිංහ යන මහත්වරු ද සාකච්ජාවට එක්වූහ.

    Latest News