මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වාගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී.
මෙකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන. පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහජිවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ.
ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප්‍රස්ථාව විවෘත කරයි. ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ අවුරාලිය යුතුය.
ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුලුවන ප්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.
මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබේ.
ජනාධිපතිතුමා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයනට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවනු ඇත.
ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍යය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්ය භාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටිති.
සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමිනි.