වයඹ නාවික විධානයට රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නත් - නැගෙනහිර නාවික විධානයට රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නත් පත් කෙරේ

පෙබ 16, 2021

    රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න (2021 පෙබරවාරි 15) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

    වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඩීකේපී දසනායක විසින් ශ්‍රී ලංනානෞ භරණ ආයතනයෙහි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වෙත භාර දීම සිදු කෙරිණි. වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු කරන ලදි.

    නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කළ රියර් අද්මිරාල් ඩීකේපී දසනායක වෙත නිලධාරීන් විසින් සුභපැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙතින් සමුදීමට කටයුතු කෙරිණි.

    රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස වැඩ භාර ගනී නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (2021 පෙබරවාරි 15) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

    රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කරන ලදි. සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත භාර දීම සිදු කරන ලදි.

    නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.

    Latest News