කොරෝනා නිසා මියගිය පුද්ගලයකු යළි පී.සී.ආර් කරන්නයි ඉල්ලා පෙත්සමක්

පෙබ 15, 2021

    මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත් කළා.

    එදින තෙක් අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස ද අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට තවත් නියෝගයක් නිකුත් කළා.

    ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමක් අද මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි.

    ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසනවා.

    ඔහුගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළා.

    මරණකරු මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද? යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා..

    ඒ සඳහා මරණකරුගේ මෘත ශරීරය යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යන අය නම් කර තිබෙනවා.

    Latest News