විජමු ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භූමියේ දී (වීඩියෝ)

පෙබ 15, 2021
  • හිටපු අමාත්‍යවරයෙක්,කථානායකවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වූ විජමු ලොකු බණ්ඩාර මහතාගේ අවමංගල්‍ය කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

    කොවිඩ් 19 ආසාදනය වීමෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විජමු ලොකු බණ්ඩාර මහතා මිය යන විට පසු වූයේ 81 වැනි වියේ.

    1941 වසරේ අගෝස්තු 5 වැනි දින හපුතලේ දී උපත ලද විජය ලොකු බණ්ඩාර මහතා, මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාල‍යෙන්. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙක්. භාෂාවේදියෙක්, සාහිත්‍යධරයෙක් මෙන්ම ලේඛකයෙක් ලෙස ද කැපී පෙනුණු විජය ලොකු බණ්ඩාර මහතා, අනතුරුව නීතීඥවරයෙක් ලෙස කලක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ද සේවය කළේය.

    විජමු ලොකුබණ්ඩාර මහතා දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසයි. ඔහු 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ හපුතලේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙසයි. අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු මෙන්ම දේශීය වෛද්‍ය අධිකරණ ඇතුළු කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොඹවමින් කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කළ විජයු ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 18 වැනි කථානායක ධුරයට ද පත්විය.

    2004 වසරේ සිට 2010 දක්වා එම ධුරයේ කටයුතු කළ ඔහු කළක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද පත් කෙරිණ. විජමු ලොකුබණ්ඩාර මහතා තිදරු පියෙක්. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර මහතාගේ ද පියාණන්. කොරෝනා වෛරසය ආසාදනය වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විජමු ලොකුබණ්ඩාර මහතා රෝගය උත්සන්න වීමත් සමග කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.

    ඒ ඉකුත් 7 වැනි දිනයි. දින කිහිපයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය. අවමංගල්‍ය නිරෝධායන නීතිවලට අනූව කොටිකාවත්ත පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිත බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා සඳහන් කරයි.

    Last modified on සදුදා, 15 පෙබරවාරි 2021 22:25

    Latest News