හිඟ ලීසිං වාරික ගෙවීම ඉදිරියට රැගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කරන්න; අගමැති

පෙබ 09, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත් පාසල් ළමයින් ප්‍රවාහන රථ, කාර්යාල සේවක ප්‍රවාහන රථ සහ ත්‍රිරෝද රථ සඳහා වූ හිඟ ලීසිං වාරික ගෙවීම ඉදිරියට රැගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    පාසල් වෑන් රථ, කාර්යාල සේවක ප්‍රවාහන රථ සහ ත්‍රිරෝද රථ හිමියන් සමඟ මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

    කොවිඩ් වසංගතය පැවතියද රට යළි සක්‍රිය වීම හේතුවෙන් රථවාහන හිමිකරුවන්ට ලීසිං වාරික සාමාන්‍ය පරිදි ගෙවා ගෙන යාමේ හැකියාව මේ වනවිට ලැබී තිබේ. ඒහෙත්, ඇතැම් මූල්‍ය ආයතන රජය ලබාදුන් සහන කාලයට අදාළ වාරික මුදල් ද සාමාන්‍ය වාරික සමඟ ගෙවන ලෙස වාහන හිමියන්ගෙන් ඉල්ලා තිබේ.

    පවතින ආර්ථික පසුබිම තුළ වාරිකවලට අමතර මුදලක් ගෙවීමේ හැකියාව තමන්ට නොමැති බව ප්‍රවාහන සංගම් නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.

    ඇතැම් මූල්‍ය ආයතන නොගෙවා සිටි ලීසිං වාරික වෙනුවෙන් වන පොලී මුදල් ඉදිරි වාරික සඳහා ඒකතු කර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේ, ආයතනයෙන් ආයතනයට වෙනස් වන මූල්‍ය ප්‍රතිපත්තියක් වෙනුවට ලීසිං පහසුකම් ලබාදෙන සියලු මූල්‍ය ආයතන ඒකම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.

    ලීසිංවලට අදාළ ගිවිසුම් අත්සන් තැබීමේදී කොන්දේසි පත්‍රිකාවල සඳහන් වන කරුණු ඉංග්‍රීසි බසින් පමණක් සටහන් කර තිබීම සහ නිසි පරිදි අවබෝධ කර නොදීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේය.

    ඒ් පිලිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ලීසිංවලට අදාළ ගිවිසුම් සරළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සඳහන් කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

    අත්සන් තබන පාර්ශ්ව ඉල්ලා සිටින අවස්ථාවලදී ඒම කොන්දේසි සරළව පැහැදිලි කරදීමේ අවශ්‍යතාව මූල්‍ය ආයතන වෙත දැන්විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පාසල් වෑන් රථ සහ කාර්යාලයීය ප්‍රවාහන සේවා ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සහ ඔවුන්ගේ යැපෙන්නන් පනස් දහසකට අධික පිරිසකට සෘජුව බලපෑ ඒම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වීම පිළිබඳව ඒම සංගම් නියෝජිතයන් සතුට පළ කළේය.

    අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු ද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සෙනරත් මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සාකච්ජාවට ඒක්වූහ.

    Latest News