සමාජ මාධ්‍ය ඔස්සේ සංහිඳියාවට හානි වන ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු ගැන වැඩිදුර පරීක්ෂණ

පෙබ 01, 2021

    සමාජ මාධ්‍ය ඔස්සේ සංහිඳියාවට හානි වන ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

    ඒ මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර පවතින සංහිඳියාවට හානිකර ආකාරයේ ප්‍රකාශ හා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මොහොමඩ් ෆසාල් නිසාර් නැමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙම සැකකරු විසින් අදාළ සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇති බවයි.

    එම සන්නිවේදන ජාලය තුළ පුද්ගලයින් 494 දෙනෙකු පමණ සිටින බවත් ඊට මුස්ලිම් දේශපාලනඥයෙකු ද ඇතුළත්ව සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම සංනිවදන ජාලය තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු සාවද්‍ය බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

    ඒ අනුව පැමිණිල්ල නැවත ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

    Latest News