හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය

පෙබ 01, 2021

    බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම නඩුව ඉකුත් නොවැම්බර් මස දහතුන් වන දා විභාගයට ගැනීමට නියමිතව තිබුණත් එදින අලුත්කඩේ මහාධිකරණ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අධිකරණ කටයුතු පැවතුණේ නැහැ.

    ඒ අනුවයි මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වනදා යළි ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළේ.

    එදින සාක්ෂි පිදීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් අද සිතාසි නිකුත් කළා.

    නිසි බලපත්‍රයක් නොමැතිව "සකුරා" නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, වන ජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News