සෞඛ්‍ය රෙගුලාසි ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුව හෙට (19) රැස්වේ

ජන 18, 2021

    සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ පිළිබඳ තීරණය කෙරිණ.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවල නියෝජිතයින් එක්ව සිටියහ. මෙම කාරක සභාව හමුවට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා තිබීම විශේෂත්වයක්.

    ඔවුන්, පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කළ PCR පරීක්‍ෂණවලට සම්බන්ධ වූ වෛද්‍යවරුන් පිරිසක්. එම වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ, අනතුරුදායක තත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත්, එබැවින්, සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්විය හැකි බවයි.

    ඒ අනුව, කොවිඩි-19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්‍ෂා කරමින් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. හෙට පෙරවරු 10.00ට රැස්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.

    ලබන 20 වැනි දින ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය. පාර්ලිමේන්තුව රැස්වන දින දෙකේ මුල් පැය වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව හිමිවන අතර, ප්‍රශ්න 10කට පමණක් සීමාවනු ඇත.

    Latest News