ඉදිරි දින කිහිපයේ සහල් මිල පහළට

ජන 22, 2019

    2018-2019 මහකන්නයෙන් ලැබීමට නියමිත වී අස්වැන්න මෑත කාලයේ වාර්තාවන විශාලතම වී අස්වැන්න බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

    එහි ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙන්නේ, එම වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් ලක්‍ෂයකට ආසන්න වනු ඇති බවයි.

    මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා. නියඟය ඇතුළු හේතු ගණනාවක් මත පසුගිය මහ කන්න කිහිපයක් අසාර්ථකවුව ද මෙවර වගාවන් සාර්ථක වී තිබෙනවා. වී වගාකර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්‍ෂ 07ක් පමණ. මසක දේශීය සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 02ක් පමණ වනවා.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ මෙවර මහ කන්නයේ සහල් මෙට්‍රික් ටොන්18ත්, 19ත් අතර ප්‍රමාණයක් සකස් කළ හැකි වනු ඇති බවයි. එය රටේ දේශීය පරිභෝජන අවශ්‍යතාවෙන් මාස 09කට පමණ ප්‍රමාණවත් බව ද ඔවුන් පෙන්වා දෙනවා.

    රජය, ගොවීන්ගෙන් සම්බා වී කිලෝවක් රුපියල් 41කට මිලදී ගන්නා අතර, නාඩු වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 38කටයි. ඉදිරි සති කිහිපයේ දී දේශීය වෙළෙඳ පොළේ සහල් මිල රුපියල් 5ත්, 10ත් අතර මිලකින් පහළ යනු ඇති බව ආර්ථික විශේලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසනවා.

    මේ අතර, මව්බිම ලංකා පදනම අද පැවති හමුවකදී සඳහන් කළේ, ලැබීමට නියමිත අස්වැන්න පරිභෝජනය සඳහා ද ශ්‍රී ලාංකික ජනතාව සූදානම්ව සිටිය යුතු බවයි.

     

     

    Latest News