සිනමා ශාලා ජන. 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

දෙසැ 27, 2020
  • සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ.

    ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත.‍ චිත්‍රපට නිෂ්පාදකයන්, අධ්යයක්ෂවරුන් සහ ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව පසුගියදා අගමැතිතුමා දැනුවත් කළහ.

    එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් සිනමා ශාලා විවෘත කළ යුතු බවට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය. සිනමා කර්මාන්තය සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළ අගමැතිතුමා, කොවිඩ්-19 හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන්ට තවදුරටත් සිදුවන හානිය අවම කිරීම, චිත්‍රපට නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන අර්බුදය හා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු කලාකරුවන්, විවිධ වෘත්තිකයන් මුහුණ පා ඇති පීඩාවන් මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳව අවධානය යොමුකර මෙම පියවර ගත් බව පෙන්වා දුන්නේය.

    සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විෂබීජහරණයට ලක්විය යුතුයැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීම සදහා සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාකළ යුතු බව අවධාරණය කළේය.කොවිඩ් -19 අභියෝගය හමුවේ කලාකරුවන් මෙන්ම චිත්‍රපට කර්මාන්තය රැකගැනීම පියවර ගැනීම සම්බන්ධයෙන් බොහෝ කලාකරුවෝ අග්‍රාමාත්‍යතුමාට මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශංසා කළහ.

    Last modified on ඉරිදා, 27 දෙසැම්බර් 2020 21:49

    Latest News