ඒබී හා සීඩී ශ්‍රේණි වල සියළුම මාර්ග සංවර්ධනය ලබන වසරේ

දෙසැ 13, 2020

    ශ්‍රී ලංකාවේ ඒබී හා සීඩී ශ්‍රේණි වලට අයත් සියළුම මාර්ග සංවර්ධනය කිරීම ලබන වසරේ අවසන් කරන බවත් විපක්ෂය පසුගිය අවුරුදු පහටම කළ සංවර්ධනය අපි ලබන වසර තුළදී සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (12) දින කටාන, මඩවල අරඹෙ මාර්ගය හා කටියල ගම මැද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ලංකාවේ ඒබී හා සීඩී ශ්‍රේණි වලට අයත් සියළුම මාර්ග සංවර්ධනය කිරීම ලබන වසරේ අවසන් කරනවා.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති උපදෙස් අනුව 2024 වන විට ග්‍රාමීය මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ලබන වසර තුළදී අවම කිලෝ මීටර් 25,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි.

    විපක්ෂය කොළඹට වෙලා, ඒසී කාමර වලට වෙලා ගමට යන්නෙ නැතිව ප්‍රකාශ නිකුත් කරනවා.

    අපි සෑම ග්‍රාම සේවා වසකම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

    ජනතාවට අවශ්‍යය මාර්ග, විදුලිය, පානීය ජලය, නිවාස ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට අවශ්‍යය කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

    ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරලීම වගේම මෙවර අයවැයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපි කටයුතු කරනවා.

    ඒ සඳහා වන පලමු අයවැය තමා මෙවර සම්මත කර ගත්තේ.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වයට සීයට සීයක් මෙතෙක් බෙහෙතක් හොයාගෙන නැහැ.

    එංගලන්තය පවා ලබාදුන් එන්නතේ අතුරු ආබාධ ඇති බව හදුනගෙන තිබෙනවා.

    ඒ වගේ තත්ත්වයකදී ලංකාවේ කවුරුහරි කෙනෙක් අලුත් දෙයක් හොයාගත්තාම ඒකට අකුල් හෙලන අය තමා විපක්ෂයේ ඉන්නේ. අපි ඒ දේවල් හොද ද නරක ද කියලා හොයලා බලන්න ඕනේ.

    එහෙම නැතිව දේශීය නිෂ්පාදන හෝ වෛද්‍යවරු වට්ටන එක නෙමේ කරන්න ඕනේ.

    ලෝකයම මේ සඳහා එන්නතක් සොයා ගැනීමට කටයුතු කරන වේලාවක ලංකාවේ කවුරුහරි දෙයක් හොයා ගන්නවනම් ඒ දේට සහය දෙන්න ඕනේ.

    නැතිව කඩාකප්පල් කරන එක අපේ වැඩපිළිවෙල නොවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News