පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්ෂි (වීඩියෝ)

දෙසැ 11, 2020
  • වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම තමන් ස්ථාන මාරු කිරීමට මූලික වශයෙන් හේතු වු බව කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසනවා.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සාෆි ෂියාබ්දින්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග දේශපාලනික සම්බන්ධතාවයක් පැවති අතර තව්හිද් ජමාත් සංවිධානයකින් මුදල් ගලා ආ බවටද තොරතුරු ලැබි තිබු බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ කුරුණෑගල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතායි.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් 226 දෙනකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවයි.

    එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔබ යටතේ තිබු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුණුගොල්ල ග්‍රාමය සහරාන් හෂීම්ගේ බිරිදගේ ගම බව ඔබ යටතේ සිටි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබුනේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ බුද්ධි අංශ විසින් එවැනි කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොතිබු අතර තමන් සහරාන් හෂීම් පිළිබද දැනගත්තේද අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව බවයි.

    එහිදි කොමිසම යළි ප්‍රශ්න කළේ කැකුණුගොල්ල ප්‍රදේශය ආශ්‍රීතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුම් පිළිබද පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔබ දැනුවත් නොවුනේද යන්නයි.

    එයටද සාක්ෂිකරු පිළිතුරු දුන්නේ නැහැ ස්වාමිනි එම කිසිදු විමර්ශනයක් පිළිබද මා දැන සිටියේ නැහැ යනුවෙනි.

    එහිදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාක්ෂිකරු මෙලෙස අදහස් පළ කළා.

    " අප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පස්සේ ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් හය දෙනකු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධ වුණා. එයින් දෙදෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනිමට මා ඇතුළු නිලධාරින්ට පුළුවන් වුණා. ඉතා වැදගත් බුද්ධි තොරතුරු 45 කට ආසන්න සංඛ්‍යාවක් මට ඒ වෙද්දි ලැබිලා තිබුණා ඒ අතර එක්තරා සුවිශේෂී සැකකරුවකු අත්අඩංගුවට ගන්න මම ක්‍රියා කළා.

    කොහොම වුනත් එම සැකකරු අත්අඩංගුවට ගත්ත ගමන් මට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම වෙනත් මාර්ගවලිනුත් විවිධ බලපැම් එල්ල වුණා. එම බලපැම් හමුවේ මාව පුත්තලමට මාරු කලා." යැයි කොමිසම සාක්ෂි දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියා.

    එහිදි කොමිසම විමසා සිටියේ අදාළ සුවිශේෂී සැකකරු කවුරුන්ද යන්නයි.

    " සාෆි ෂිහාබ්දීන්. කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයා යැයි සාක්ෂිකරු එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අනාවරණය කළා.

    එහිදි ජනාධිපති කොමිසම යළිත් ප්‍රශ්න කළේ අදාළ වෙද්‍යවරයාට කිසියම් දේශපාලන සබදතාවයක් පැවතියේද යන්නයි.

    "ඔව් ස්වාමිනි, එම වෙද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සම්බන්ධතා පැවති බවට මාහට තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒ වගේම තවුහිත් ජමාත් සංවිධානයකින් මෙම සැකකරුට මුදල් ගලාගෙන ආපූ බවටත් බුද්ධි තොරතුරු තිබුණා. ඒ නිසයි මම උපදෙස් ලබා දුන්නේ පරික්ෂණ මෙහෙයවලා මොහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. කොහොම නමුත් සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ මාව ස්ථාන මාරු කළා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළා.

    මේ අතර සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදින් විසින් නුවරඑළිය, ශාන්තිපුර ප්‍රදේශයේ තක්ෂිල නිවාඩු නිකේතනයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුර පිළිබද පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලබා දී තිබු ඩි.ටී ඉලේසිංහ මහතා අද Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන්නා.

    එහිදි සාක්ෂිකරු කියා සිටියේ 2018 වර්ෂයේ අප්‍රේල් මස සහ මැයි දිනයන් දෙකකදි තම නිවස අසල පිහිටි තක්ෂිල නිවාඩු නිකේතයට සැකකටයුතු පිරිසක් පැමිණ ඇති බව නිරීක්ෂණය වු බවයි.

    අදාළ පිරිස පිළිබද තමන් කළ සෝදිසියකදි, " මේ සල්ලියි ආයුධයි මෙතන තියලා වැඩක් නැහැ. කාන්තන්කුඩියට ගෙනියමු " යැයි කතාබහ වෙනු ඇසුන බවත් ඒ අනුව සැකකටයුතු ක්‍රියාවක් සිදුවන බව තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථනයෙන් දැනුවත් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා.

    ඒ අනුව පොලිස්පතිවරයා එවකට නුවරඑළිය කොට්ඨාස භාර මහින්ද දිසානායක මහතා දැනුවත් කළ බවත් ඔහු තමන් අමතා නිරීක්ෂණයට පැමිණෙන බව සදහන් කළ බවත් සාක්ෂිකරු පැවසුවා.

    කෙසේ වෙතත් තමන් මෙම ඇමතුම ලබාදුන්නේ 2018 මැයි 08 වන දින පෙරවරුවේ වන අතර පස්වරු 04ට පමණ පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ එක් නිලධාරියෙකු එම නිවසට ඇතුළු වී ස්වල්ප මොහොතකින් යළි පිටව ගිය බව ඉලේසිංහ මහතා කියා සිටියා.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ නැවතත් පොලිස් නිලධාරියෙකු තමන් හමුවට පැමිණියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මලාවට පසුව වන අතර එහිදි පෙර අවස්ථාවේ සැකකටයුතු නිවසට ඇතුළු වු උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රජිත් නැමැති නිලධාරියා තමන් හමුවට පැමිණ " අංකල් කිව්ව එක හරි අපි ප්‍රමාද වුණා. නමුත් මේක මාධ්‍යයට කියන්න එපා. " යැයි බලපෑම් කළ බවයි.

    එසේම එහිදි ඔහු පෙර අවස්ථාවේ සැකකටයුතු නිවස පරික්ෂා කළ විට රුපියල් ලක්ෂ 10 ක මුදල් නෝට්ටු සහ ගන්ජා තිබෙනු දුටු බව අනාවරණය කළේ යැයිද සාක්ෂිකරු කියා සිටියා.

    එසේම ඉන් අනතුරුවද නුවරඑළිය පොලිස් ස්ථානයේ සාජන්ට් සුනිල් නැමැත්තෙකු මෙම සිදුවීම පිළිබද මාධ්‍යයට හෝ කිසිවෙකුටවත් නොකියන ලෙස බලපෑම් කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

    මේ ඊයේ දින ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මහතා කොමිසම් සභා පරිශ්‍රයට පාර්සල් කිහිපයක් ගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කළ ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේ අදාළ සිදුවීම කොමිසම් සභවේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවයි.

    ඒ අනුව එම පාර්සල් කොමිසම් සභා අභ්‍යන්තරයට ගෙනවිත් ස්වල්ප මොහොතකින් තමන් එය දැනගත් විගස එම පාර්සල් ප්‍රතික්ෂේප කර හරවා යැවු බවත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා අද නිවේදනය කළා.

    මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබද පසුගිය සමයේ කරුණු හෙළිදරව් කළ නාමල් කුමාර අද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒ්කකය වෙත කැදවා තිබුණා.

    Last modified on සිකුරාදා, 11 දෙසැම්බර් 2020 23:42

    Latest News